ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (12) දිනයේදී නැවත වරක් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 4.00 වන විට ලැබුණු දත්තවලට අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 107 සීමාව ඉක්මවා ගොස් ඇති අතර, WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 101 සීමාව ඉක්මවා ගොස් ඇත. මෙය පෙර දිනයට සාපේක්ෂව සියයට 3ක පමණ මිල ඉහළ යාමක් ලෙස වාර්තා වේ.
මැදපෙරදිග කලාපයේ පවතින දේශපාලන අර්බුද මෙම මිල ඉහළ යාමට සෘජුවම බලපා ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. විශේෂයෙන්ම ඉරාන – ඊශ්‍රායල සහ ඇමෙරිකානු යුද තත්ත්වය සමනය කිරීම සඳහා ඉදිරිපත් වූ යෝජනාවලියට ඉරානය දැක්වූ ප්‍රතිචාරය පිළිගත නොහැකි බවට ඇමෙරිකානු ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශයත් සමඟ ගෝලීය ඉන්ධන සැපයුම පිළිබඳ අවිනිශ්චිතතාවයක් හටගෙන තිබේ. මෙම උණුසුම් තත්ත්වය හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළද ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල තවදුරටත් උච්චාවචනය විය හැකි බවට අනාවැකි පළ වේ.














