ඔස්ට්‍රියාවේ වියානා නුවරදී අද (12) ආරම්භ වීමට නියමිත 70 වන යුරෝවිෂන් ගායන තරඟාවලිය, ගාසා තීරයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් දැඩි මතභේදාත්මක තත්ත්වයකට පත්ව තිබේ. ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා ක්‍රියාමාර්ගවලට විරෝධය පළ කරමින් රටවල් පහක් මෙවර තරඟාවලිය වර්ජනය කිරීමට තීරණය කර ඇති අතර, ඊශ්‍රායල නියෝජිතයන් සහභාගී වන පළමු අවසන් පූර්ව තරඟයට පෙර දැවැන්ත පලස්තීන හිතවාදී විරෝධතා මාලාවක් පැවැත්වීමට ද සැලසුම් කර ඇත.
සාමාන්‍යයෙන් පොප් සංගීතයේ සැමරුමක් ලෙස සැලකෙන මෙම තරඟාවලිය මෙවර දැඩි දේශපාලන අර්බුදයකට මැදිවී ඇති අතර, මේ හේතුවෙන් 2003 වසරෙන් පසු තරඟාවලියට ඉදිරිපත්ව ඇති අවම සහභාගීත්වය මෙවර වාර්තා වේ. කෙසේ වෙතත්, නගරයේ ආරක්ෂාව තහවුරු කර ඇති බවත් කිසිදු බිය ගැන්වීමකට ඉඩ නොතබන බවත් වියානා නගරාධිපතිවරයා අවධාරණය කර තිබේ.














