පරිගණක අපරාධ ජාලයකට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් ඉන්දියානු සහ නේපාල ජාතික සැකකරුවන් පිරිසක් අද (12) ගාල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ. මෙලෙස අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ හික්කඩුව, දොඩන්දූව සහ ගාල්ල යන ප්‍රදේශවලදී සිදුකළ වැටලීම්වලින් අත්අඩංගුවට ගත් පිරිසකි.
ගාල්ල වරාය පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් 09 දෙනෙකු එළැඹෙන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර දොඩන්දූව ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 55 දෙනෙකු එළැඹෙන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය. ගාල්ල පොලීසිය මගින් ඉදිරිපත් කළ සෙසු සැකකරුවන් පිරිස පුද්ගලික ඇප මත මුදා හැරීමට පියවර ගෙන තිබේ. මෙම වැටලීම්වලදී දොඩන්දූව ප්‍රදේශයෙන් සැකකරුවන් 55ක්, ගාල්ල පොලිස් වසමෙන් 110ක් සහ ගාල්ල වරාය පොලිස් වසමෙන් 23ක් වශයෙන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරුවන් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් සමීර දොඩංගොඩ මහතා සහ අතිරේක මහේස්ත්‍රාත් මහේෂිකා විජේසිංහ මහත්මිය හමුවට ඉදිරිපත් කරනු ලැබීය.














