ශ්‍රී ලංකාවේ තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර මාවත විවර කර දීමේ අරමුණින් සංවිධානය කළ “Karwan CC UAE Talent Search” වැඩසටහන පසුගියදා (12) කොළඹ කිරිමණ්ඩල මාවතේ පිහිටි SLLDC ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් ලෙස ආරම්භ විය. මෙහි සුවිශේෂීත්වය වන්නේ ශ්‍රී ලංකාවේ සුපිරි වේගපන්දු යවන්නන් වූ චමින්ද වාස් සහ නුවන් සොයිසා යන මහත්වරුන්ගේ පූර්ණ මගපෙන්වීම යටතේ මෙම තේරීම් පරීක්ෂණ පැවැත්වීමයි.
සමාරම්භක දිනයේදීම තේරීම් පරීක්ෂණ සඳහා සහභාගී වූ තරුණ ක්‍රීඩකයන්ට සිය අත්දැකීම් බෙදා දෙමින් ඔවුන් දිරිමත් කිරීමට මෙම ක්‍රිකට් ප්‍රවීණයන් දෙපළ කටයුතු කළහ. ගම් මට්ටමින් පැමිණි දක්ෂ ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා සමාජයක් හා එක්වීමට ලැබෙන මෙම අවස්ථාව ඔවුන්ගේ ක්‍රිකට් දිවියේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇත.
කරුන් ක්‍රිකට් සමාජයේ නිර්මාතෘ බාබර් ඉක්බාල් (Babar Iqbal) මහතා සහ ප්‍රධාන හවුල්කරු ෆුර්කාන් කලීල් (Furqan Khalil) මහතාගේ මෙහෙයවීමෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාව තුළ මෙහි මෙහෙයුම් කටයුතු Diversity Management සහ Impact Strategy Labs යන ආයතන විසින් සිදු කරනු ලබයි.
දක්ෂතා ඇති තරුණ ක්‍රීඩකයන්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි විදේශීය රටක ක්‍රිකට් ක්‍රීඩා කිරීමටත්, එමඟින් ජාත්‍යන්තර අවධානය දිනා ගැනීමටත් මෙම වැඩසටහන මඟින් මාවත සකස් කර දී තිබේ.














