සංචාරක කර්මාන්තය සඳහා වන 2030 අභිලාෂකාමී ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් ස්ථාවර සහ අවම වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 50ක වාර්ෂික අලෙවිකරණ ආයෝජනයක් සිදුකළ යුතු බව ශ්‍රී ලංකා සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය (THASL) අවධාරණය කරයි. 2030 වසර වන විට සංචාරකයින් මිලියන 5ක් ගෙන්වා ගැනීම සහ ඇමරිකානු ඩොලර් බිලියන 10ක ආදායමක් උපයා ගැනීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණයි. මේ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන දැනටමත් රජය සතුව පවතින බවත්, සංචාරක සංවර්ධන බදු සහ පිටවීමේ බදු හරහා රුපියල් බිලියන 14ක මුදලක් විධිමත් අංශයෙන් එකතු වී ඇති බවත් කර්මාන්ත නායකයෝ පෙන්වා දෙති.
සංචාරකයින්ගේ පැමිණීම සහ සැබෑ මූල්‍ය වර්ධනය අතර පවතින පරතරය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. 2025 වසරේදී සංචාරකයින් මිලියන 2.3ක් පැමිණ තිබුණද, එය 2018 වසරේ පැමිණීමට සමාන අගයකි. එහෙත් එම කාලය තුළ නවාතැන් පහසුකම් සැපයීම දෙගුණ වී ඇති බැවින් දැඩි මිල තරඟකාරිත්වයක් නිර්මාණය වී ඇති අතර සේවාවන් සඳහා නිසි මිලක් ලබා ගැනීමට අපහසු වී ඇති බව හෝටල් හිමියන් පවසති. තවද, ප්‍රධාන වෙළඳපොළවල් ඉලක්ක කරගනිමින් සිදුකිරීමට නියමිත ප්‍රවර්ධන වැඩසටහන් ප්‍රමාද වීම කර්මාන්තයේ ප්‍රකෘතිමත් වීමට බාධාවක් වී ඇති අතර, ජාත්‍යන්තර ප්‍රසම්පාදන ලංසු තැබීමේ කාලසීමාව දින 42 සිට 14 දක්වා අඩු කිරීමට කළ ඉල්ලීම්වලට මෙතෙක් අනුමැතිය ලැබී නොමැති බව ද එම සංගමය සඳහන් කරයි.














