දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නායයෑමට ලක් වූ කොත්මලේ, රම්බොඩ, වැවන්ඩන් වතුයායේ පවුල් මාස හයක කාලයක් තිස්සේ තාවකාලික කූඩාරම්වල දිවි ගෙවමින් සිටිති. එළඹෙන වැසි සමයට ප්‍රථම තමන්ට ස්ථීර නිවාස හෝ ආරක්ෂිත ස්ථානයක පදිංචිය ලබා දෙන ලෙස එම ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.කුණාටුවෙන් පසුව පොදු ස්ථානවල සහ කෝවිල්වල මාසයක පමණ කාලයක් රැඳී සිටි මෙම පිරිසට පසුව රජය විසින් ආරක්ෂිත ස්ථානයක කූඩාරම් සකස් කර දී ඇත. අධික සුළං සහ වර්ෂාව පවතින කාලවලදී මෙම කූඩාරම්වල රැඳී සිටීම දැඩි දුෂ්කර වී ඇති බව ඔවුහු පෙන්වා දෙති. නිවාස ඉදිකිරීම සඳහා එම වතුයායේම ඉඩමක් පරීක්ෂා කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) නිලධාරීන් පැමිණියද, එම ඉඩම ද නායයෑමේ අවදානමක පවතින බැවින් එම කටයුතු ඇනහිට තිබේ. නායයෑමේ අවදානම නිසා වැවන්ඩන් දමිළ මහා විද්‍යාලය ද සම්පූර්ණයෙන්ම වසා දමා ඇති අතර, දැනට සිසුන්ගේ අධ්‍යයන කටයුතු තාවකාලිකව කොත්මලේ තොන්ඩමන් සංස්කෘතික මධ්‍යස්ථානයේ සිදු කෙරේ. තම දූදරුවන් වෙනුවෙන් වතුයාය තුළම ස්ථීර පාසලක් ඉදිකර දෙන ලෙස ද වතු කම්කරු ජනතාව ඉල්ලීමක් කරති.














