රටේ සංවර්ධන ක්‍රියාවලීන්හිදී විවිධ වැරදි පෙන්වමින් එය ආපස්සට ඇදීමට උත්සාහ කරන ඇතැම් මාධ්‍යවල හැසිරීම හේතුවෙන් ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වන බව කෘෂිකර්ම, වාරිමාර්ග හා පශු සම්පත් අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා ප්‍රකාශ කළේය. ගන්නෝරුව පැළෑටි හා ජාන සම්පත් සංරක්ෂණ මධ්‍යස්ථානයේදී පැවැති කෘෂිකාර්මික බීජ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
කිසිදු ධනාත්මක වැඩක් සාර්ථක වීමට ඉඩ නොදෙන ඇතැම් මාධ්‍ය ආයතන, සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කළ සැණින් ඒවා පිළිබඳව නිෂේධාත්මක ආකල්ප සමාජගත කිරීමට උත්සාහ කරන බව ඔහු සඳහන් කළේය. රජය විසින් යූරියා පොහොර පවතින බව පැවසුවද, ඇතැම් මාධ්‍ය එය ලැබී නැති බව පවසන එක් ගොවියෙකු සොයාගෙන එම ප්‍රකාශය ප්‍රමුඛ කොට පෙන්වීමට කටයුතු කරන බව ඔහු නිදසුන් ලෙස පෙන්වා දුන්නේය.
බීජ පද්ධතිය ඩිජිටල්කරණය වැනි නවීන වැඩපිළිවෙළවල් ආරම්භ කිරීමේදී, “අපිට ෆෝන් නැහැ, ගම්වල මේවා කොහොමද කරන්නේ” වැනි පසුගාමී ප්‍රකාශ හරහා ජනතාව නොමඟ යැවීමට මෙවැනි මාධ්‍ය කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය. මෙවැනි “ජඩ සහ පසුගාමී” මාධ්‍ය ක්‍රියාකාරකම් මධ්‍යයේ රටේ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යාම අතිශය දුෂ්කර වී ඇති බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














