ඉරාන යුද්ධය හේතුවෙන් ඉහළ ගොස් ඇති බලශක්ති මිල හමුවේ ඉන්ධන පිරිවැය ඉතිරි කර ගැනීම සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සිය නිල රථ පෙළේ (Motorcade) ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු කර ඇති බව රජයේ ආරංචි මාර්ග හෙළි කරයි.
ගෝලීය බලශක්ති මිල ඉහළ යාම නිසා රටේ විදේශ විනිමය සංචිත කෙරෙහි එල්ල වී ඇති පීඩනය අවම කිරීමට අනවශ්‍ය විදේශ සංචාරවලින් වැළකී සිටීම සහ පොදු ප්‍රවාහනය භාවිත කිරීම වැනි සකසුරුවම් පියවර අනුගමනය කරන ලෙස පසුගිය ඉරිදා අගමැතිවරයා ඉන්දීය ජනතාවගෙන් ඉල්ලා සිටියේය. අගමැතිවරයාගේ මෙම ඉල්ලීමෙන් පසුව ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන්ගේ විශාල රථ පෙළ සහ නිල ගුවන් යානා භාවිතය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවේචන එල්ල විය.
අගමැතිවරයාට හිමිවන ඉහළම ආරක්ෂක ප්‍රොටෝකෝලවලට හානියක් නොවන පරිදි රථ පෙළේ ප්‍රමාණය අඩු කර ඇති අතර මීට පෙර ඔහුගේ රථ පෙළ වාහන 12කින් පමණ සමන්විත වූ බව වාර්තා වේ. මෙලෙස රථ පෙළේ ප්‍රමාණය සීමා කිරීම ගුජරාට් සහ ඇසෑම් ප්‍රාන්තවල සිදු කළ සංචාරවලදී ද දැකගත හැකි විය.
නව වාහන මිලදී ගැනීමකින් තොරව හැකි සෑම අවස්ථාවකදීම විද්‍යුත් වාහන (EVs) රථ පෙළට ඇතුළත් කරන ලෙස ද අගමැති මෝදි මහතා උපදෙස් දී ඇත.














