සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ රීතිවලට පරිබාහිරව, එහි අතිරික්ත මුදලින් රුපියල් මිලියන 167ක මුදලක් ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට ලබාදී රජයට පාඩු සිදුකිරීම ඇතුළු මූල්‍ය අක්‍රමිකතා රැසක් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (COPA) අනාවරණය වී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා රැස් වූ මෙම කාරක සභාව හමුවට සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව කැඳවා තිබූ අතර, එහිදී 2021-2024 කාලසීමාවට අදාළ විගණන වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂාවට ලක් කෙරිණි.
කාරක සභාවේදී අනාවරණය වූ පරිදි, 2013 වසරේදී සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට ලබාදුන් ණය මුදලක් පියවීම 2015 වසරේ සිට නතර වී ඇති අතර, මේ හේතුවෙන් රුපියල් මිලියන 167ක මුදලක් රජයට අහිමි වී තිබේ. මේ පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට කාරක සභාව තීරණය කළේය. මීට අමතරව, වසර 12ත් 59ත් අතර කාලයක් තිස්සේ සමුපකාර සමිති 28කින් අයකර ගැනීමට ඇති රුපියල් මිලියන 31කට අධික ණය මුදල් පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. එම මුදල් අයකර ගැනීම සඳහා නව සමුපකාර පනත කඩිනමින් සකස් කරන ලෙස කාරක සභාව උපදෙස් දුන්නේය.
එමෙන්ම, දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ රුපියල් මිලියන 50ක “දිනක් වයසැති කිකිළි පැටවුන් ලබාදීමේ ව්‍යාපෘතිය”, ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 7කට පමණක් සීමා කිරීම පිළිබඳව කාරක සභාවේ දැඩි දෝෂදර්ශනයට ලක් විය. බිත්තර හිඟයට පිළියමක් ලෙස ගෙන ආ මෙම ව්‍යාපෘතියේ සිදුවූ අක්‍රමිකතාව පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස සභාපතිවරයා නිලධාරීන්ට නියෝග කළේය.













