ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම හමුවේ මෙරට ඉන්ධන පරිභෝජනය සීමා කිරීම රජයේ මූලික ඉලක්කයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. නුවරඑළිය දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, ලෝක වෙළඳපොළේ මිල ගණන් අනුව දැනට ඩීසල් ලීටරයක සැබෑ පිරිවැය රුපියල් 720ක් පමණ වන බවයි.
රටෙන් පිටතට ඇදී යන විදේශ විනිමය පාලනය කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළ ජනාධිපතිවරයා, ඉකුත් මාස කිහිපය තුළ ඉන්ධන ආනයනය සඳහා වැය වූ පිරිවැය සංසන්දනාත්මකව ඉදිරිපත් කළේය. ඒ අනුව පෙබරවාරි මාසයේදී ඩොලර් මිලියන 98ක් වූ ඉන්ධන ආනයන වියදම, මැයි මාසය වන විට ඩොලර් මිලියන 522ක් දක්වා හය ගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව ඔහු සඳහන් කළේය.
ඩීසල් ලීටරයක සැබෑ මිල රුපියල් 720ක් වුවද, දැනට එය රුපියල් 392කට ලබා දෙන බවත්, එහිදී රජය සෑම ලීටරයකටම රුපියල් 100ක සෘජු වැය බරක් දරන බවත් ජනාධිපතිවරයා අනාවරණය කළේය. එවැනි සහන පැවතියද තෙල් සංස්ථාව තවදුරටත් පාඩු ලබන අතර, එම පාඩුව භාණ්ඩාගාරයට විශාල බරක් වී තිබේ. තෙල් සංස්ථාව සතුව පැවති රුපියල් බිලියන 84ක පාඩුව දැනටමත් භාණ්ඩාගාරයට පවරාගෙන ඇති බැවින්, දිගින් දිගටම මෙලෙස මුදල් ලබාදීම කළ නොහැකි බවත්, ආයතන කාර්යක්ෂම විය යුතු බවත් ඔහු අවධාරණය කළේය.
විදුලි නිෂ්පාදන වියදම ඉහළ යාම නිසා මෙවර විදුලි බිල 18%කින් ඉහළ දැමීමට සිදු වූ බව පැවසූ ජනාධිපතිවරයා, එහිදී 95%ක් වූ සාමාන්‍ය පාරිභෝගිකයන්ට බරක් නොවන ලෙස එය කළමනාකරණය කළ බව ද පැවසීය. මීට අමතරව, මිල උච්චාවචනය වීම නිසා ගැටලුවලට මුහුණ දී සිටින කුඩා පරිමාණ කොන්ත්‍රාත්කරුවන් සඳහා ලබන සඳුදා වන විට සහනදායී විසඳුමක් ලබා දීමට කටයුතු කරන බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














