මේ දිනවල දිවයින තුළ ‘ඉන්ෆ්ලුවෙන්සා B’ වයිරසයේ පැතිර යාමක් නිරීක්ෂණය වන නමුත්, එය වසංගත තත්ත්වයක් නොවන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා පවසයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ, සෑම වසරකම මැයි සිට ජූලි දක්වා කාලය තුළ මෙම රෝගයේ වැඩිවීමක් දක්නට ලැබෙන බවයි.
රෝග ව්‍යාප්තිය සහ ලක්ෂණ
ඉන්ෆ්ලුවෙන්සා යනු නාසය, උගුර සහ පෙණහලු ඇතුළු ශ්වසන පද්ධතියට බලපාන තීව්‍ර වයිරස් ආසාදනයකි. කැස්ස, කිවිසුම් යාම හෝ කතා කිරීමේදී පිටවන ශ්වසන බිඳිති මඟින් මෙම වයිරසය ව්‍යාප්ත වන අතර උණ, කැස්ස, උගුරේ වේදනාව, නාසයෙන් දියර ගැලීම හෝ නාසය අවහිර වීම මෙහි ප්‍රධාන ලක්ෂණ වේ. එසේම ශරීර වේදනාව, හිසරදය, අධික තෙහෙට්ටුව සහ වෙව්ලීම වැනි ලක්ෂණ ද රෝගීන්ට ඇති විය හැකිය.
අවදානම් කණ්ඩායම් සහ ආරක්ෂිත පියවර
ගැබිනි මවුවරුන්, කුඩා දරුවන්, වයෝවෘද්ධ පුද්ගලයන් මෙන්ම නිදන්ගත රෝග හෝ ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයන්ට මෙම වයිරසය ආසාදනය වීම අවදානම් සහගත විය හැකි බව වෛද්‍ය කරුණාපේම මහතා පෙන්වා දෙයි. එබැවින් රෝග ලක්ෂණ ඇත්නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත යොමු විය යුතු අතර, රෝගය වැළඳී ඇති පුද්ගලයන් සෙනඟ ගැවසෙන ස්ථානවලට යාමෙන් වැළකී සිටීම මඟින් වයිරසය ව්‍යාප්ත වීම පාලනය කළ හැකි බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














