මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ සෞඛ්‍ය පහසුකම් ඉහළ නැංවීමේ අරමුණින්, ඉන්දීය රජයේ රුපියල් මිලියන 600ක මූල්‍ය ආධාර යටතේ ඉදිවන සිව්මහල් වෛද්‍ය වාට්ටු සංකීර්ණයේ වැඩකටයුතු කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගෙන ඇත. ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධාක්‍රිෂ්ණන් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව මේ පිළිබඳ අවබෝධතා ගිවිසුම අත්සන් කෙරිණි.
මෙම නව වාට්ටු සංකීර්ණය විදුලි සෝපාන, වායුසමීකරණ පද්ධති, හදිසි විදුලි ජනක යන්ත්‍ර සහ නළ මඟින් වෛද්‍ය වායු සැපයීමේ පද්ධති (Piped medical gas supply system) ඇතුළු නවීනතම පහසුකම් රැසකින් සමන්විත වේ. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම් වෛද්‍ය ඩබ්ලිව්.කේ. වික්‍රමසිංහ මහතා විසින් මේ සම්බන්ධ ගිවිසුම් හුවමාරු කර ගන්නා ලදී.
බෝ නොවන රෝග (NCD) හේතුවෙන් සිදුවන අකල් මරණ අවම කිරීම සහ රෝගීන් පරීක්ෂා කිරීමේ වේගය ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණකි. ව්‍යාපෘතිය අවසන් වූ පසු මුලතිව් රෝහලේ නේවාසික ඇඳන් ධාරිතාව සියයට 150කට වඩා වැඩි වනු ඇතැයි අපේක්ෂා කරන අතර, එමඟින් රෝගීන් වෙනත් රෝහල් වෙත යොමු කිරීම (Referrals) සැලකිය යුතු ලෙස සීමා වනු ඇත.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ ඉන්දු-ලංකා ‘ඉහළ බලපෑමක් සහිත ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති’ (HICDP) රාමුව යටතේය. දැනට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 පුරාම නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපන, ධීවර සහ කෘෂිකර්මාන්තය වැනි ක්ෂේත්‍ර ආවරණය වන පරිදි මෙවැනි ජනතා කේන්ද්‍රීය ව්‍යාපෘති 18ක් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.














