ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, ඉරානය සමඟ පැවති යුදමය වාතාවරණය මධ්‍යයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) රහසිගත සංචාරයක නිරත වී ඇති බව ඔහුගේ කාර්යාලය නිල වශයෙන් නිවේදනය කර තිබේ. බදාදා දින නිකුත් කළ ප්‍රකාශයක දැක්වෙන්නේ, මෙම සංචාරය “සිංහයාගේ ගර්ජනාව” (Roar of the Lion) මෙහෙයුම ක්‍රියාත්මක වෙමින් පවතින අතරතුර සිදු වූවක් බවයි.
මෙම රහසිගත සංචාරයේදී අගමැති නෙතන්යාහු, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් (Mohammed bin Zayed Al Nahyan) සමඟ විශේෂ සාකච්ඡාවක නිරත වී තිබේ. අල් අයින් (Al Ain) නගරයේ පැය කිහිපයක් පුරා පැවති මෙම හමුව, දෙරට අතර සබඳතාවල “ඓතිහාසික හැරවුම් ලක්ෂ්‍යයක්” ලෙස නෙතන්යාහුගේ කාර්යාලය හඳුන්වා දී ඇත.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසන පරිදි, මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වී ඇත්තේ කලාපීය ආරක්ෂාව සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳවයි. 2020 වසරේ ඇති කරගත් “ඒබ්‍රහම් එකඟතාව” (Abraham Accords) හරහා දෙරට අතර තාන්ත්‍රික සබඳතා ගොඩනැඟුණ ද, ගාසා තීරයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ එම සබඳතාවල යම් පසුබෑමක් දක්නට ලැබුණි.
කෙසේ වෙතත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙතෙක් මෙම රහසිගත සංචාරය පිළිබඳව නිල වශයෙන් ස්ථිර කර නොමැති වීම විශේෂත්වයකි. මැදපෙරදිග කලාපීය දේශපාලනයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් පවතින මොහොතක මෙම හමුව සිදුවීම ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ.














