පසුගියදා ඇති වූ සුළි කුණාටු තත්ත්වයෙන් පසු රජය ලබාදෙන ඉහළ සහන සහ වන්දි මුදල් හේතුවෙන්, තමන් එම ආපදාවට ලක් නොවීම පිළිබඳව ගම්වල ජනතාව කණගාටුවට පත්වන අමුතුම ආකාරයේ තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා පවසයි. සිරස රූපවාහිනියේ පැවැති වැඩසටහනකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
ආපදාවට පත් පවුල් සඳහා රුපියල් 25,000ක මූලික දීමනාවක් සහ ගෘහ උපකරණ මිලදී ගැනීම සඳහා වෙනම මුදල් ප්‍රතිපාදන වත්මන් රජය මඟින් ලබාදීමට කටයුතු කර තිබේ. මෙම ක්‍රමවේදය ඉතා කාර්යක්ෂමව සහ සාර්ථකව ක්‍රියාත්මක වීම හේතුවෙන්, තම අසල්වැසියන්ට එම වරප්‍රසාද ලැබෙනු දකින ජනතාව තුළ තමන්ට එම අවස්ථාව අහිමි වීම ගැන කණගාටුවක් ඇති වී තිබෙන බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
ඉතිහාසයේ කිසිදු දිනක ස්වභාවික විපතකදී ජනතාව මෙවැනි ආකල්පයක් දරා නොමැති බවත්, තමන්ගේ නිවසට වතුර නොදැමීම හෝ තමන් ආපදාවට ලක් නොවීම පිළිබඳව ජනතාව දුක්වන මට්ටමට වර්තමාන සහනාධාර ලබාදීමේ ක්‍රියාවලිය ජනතාවට සමීප වී ඇති බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














