මනම්පිටිය වැලි කැණීම් ව්‍යාපෘතියේ වැලි මංකඩ දෙකක් වත්මන් ආණ්ඩුවේ දේශපාලන හිතවතුන් දෙදෙනෙකු සඳහා නීති විරෝධී ලෙස ලබා දී ඇති බවට වැලි මංකඩලාභීන් සහ ප්‍රදේශයේ ටිපර් රථ හිමියන් චෝදනා කරති. අධි සංවේදී පරිසර කලාපයක් වන ජාතික ජල ගැලුම් නිම්න වනෝද්‍යානය ආශ්‍රිතව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බැවින්, මෙලෙස අත්තනෝමතික ලෙස මංකඩ ලබාදීම පිටුපස දැවැන්ත මූල්‍ය වංචාවක් පවතින බවට ඔවුහු සැක පළ කරති.
මනම්පිටිය වැලි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා විසින් මහවැලි ගඟේ වම් ඉවුරේ සහ දකුණු ඉවුරේ පිහිටි වැලි මංකඩ දෙකක් විනිවිදභාවයකින් තොරව තම හිතවතුන් දෙදෙනෙකුට ලබා දී ඇති බවට වාර්තා වේ. මීට පෙරද දේශපාලන හිතවතුන්ට මංකඩ ලබා දීමට කටයුතු කළ නිලධාරීන් 8 දෙනෙකුගේ සේවය අත්හිටුවීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය පියවර ගෙන තිබූ පසුබිමක මෙවැනි සිදුවීම් නැවත වාර්තා වීම විශේෂත්වයකි.
ව්‍යාපෘතිය ආරම්භ කළ දා සිට සිදු වූ සියලු දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳව පූර්ණ විමර්ශනයක් පවත්වා වගකිවයුතු නිලධාරීන්ට දඬුවම් ලබා දිය යුතු බව ව්‍යාපෘතියට සම්බන්ධ ටිපර් රථ හිමියෝ රජයෙන් ඉල්ලා සිටිති.
මෙම චෝදනා සම්බන්ධයෙන් මනම්පිටිය වැලි සමාගමෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ අදාළ මංකඩවල් ලබාදීමේදී දේශපාලන හිතවත්කම් සලකා බලා නොමැති බවයි. අක්‍රීයව පැවති මංකඩවල් සක්‍රීයව පවත්වාගෙන යාමට හැකියාව ඇති පුද්ගලයන් පමණක් ඒ සඳහා තෝරා ගත් බවත්, එහිදී කිසිදු මුදල් වංචාවක් සිදු නොවූ බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














