ශ්‍රී ලංකාව සහ බෙලරුස් රාජ්‍යය අතර දේශපාලන, වෙළඳ සහ අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර රැසක සහයෝගීතාව ඉහළ නැංවීමට දෙරටේ අවධානය යොමු වී තිබේ. බෙලරුස් රාජ්‍යයේ නිල සංචාරයක නිරත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ බෙලරුස් විදේශ අමාත්‍ය මැක්සිම් රයිෂෙන්කොව් (Maxim Ryzhenkov) මහතා අතර පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී මෙම එකඟතාවන්ට එළැඹ ඇත.
දෙරට අතර පවතින දේශපාලන සබඳතා, වෙළඳාම, අධ්‍යාපනය, සංස්කෘතිය සහ දෙරටේ ජනතාව අතර පවතින සබඳතා (people-to-people relations) තවදුරටත් පුළුල් කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු වී තිබේ.
නිත්‍ය දේශපාලන උපදේශන හරහා රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ශක්තිමත් කිරීමටත්, වෙළඳ හා ආර්ථික සහයෝගීතාව පිළිබඳ අන්තර් රාජ්‍ය කොමිසම (Intergovernmental Commission on Trade and Economic Cooperation) මේ වසරේ අගභාගයේදී කැඳවීමටත් දෙපාර්ශ්වයම එකඟ වී ඇත.
ශ්‍රී ලංකාව සහ බෙලරුස් රාජ්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 25ක් සපිරීම මෙවර සංචාරයේ විශේෂත්වයක් ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා පෙන්වා දෙයි. මෙය දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය කැපවීම මැනවින් විදහා දක්වන අවස්ථාවක් බවද ඔහු සිය X (පැරණි Twitter) ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.
















