දේශීය හා ගෝලීය වශයෙන් ව්‍යවසායකයන් සවිබල ගැන්වීම අරමුණු කරගත් 2026 ජාතික සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය උපාය මාර්ගික රාමුව නිල වශයෙන් එළිදැක්වීම අද (13) දින සිදු විය. අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ආරම්භ කෙරිණි. මෙරට ලියාපදිංචි මුළු ව්‍යාපාරවලින් 75% කට වඩා නියෝජනය කරන, දළ දේශීය නිෂ්පාදිතයට 52% ක දායකත්වයක් සපයන සහ මුළු ශ්‍රම බලකායෙන් 45% ක් සේවයේ නිරත වන සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයේ පවතින ව්‍යුහාත්මක බාධක ඉවත් කිරීම මෙහි මූලික ඉලක්කයකි.
“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යන දැක්ම පෙරදැරිව සකස් කර ඇති මෙම සැලැස්ම මගින් සාමාන්‍ය ව්‍යවසායකයෙකු ඉහළ වර්ධන විභවයක් ඇති අපනයන අභිමුඛ ව්‍යවසායකයෙකු දක්වා පරිවර්තනය කිරීමට මග පෙන්වනු ලබයි. මෙම උපාය මාර්ගික රාමුව මූලික උපාය මාර්ගික දැක්ම සහ කුලුනු 11ක් පදනම් කරගෙන ගොඩනැගී ඇති අතර එය ප්‍රධාන අංශ 5ක් ඔස්සේ ක්‍රියාත්මක වේ. ඩිජිටල් ව්‍යාපාරික මෙවලම් හඳුන්වාදීම, ආයතනික ඒකාබද්ධතාව, සේවා සැපයුම් ව්‍යුහය, අභිජනනය සහ නව ව්‍යාපාරික සහාය යන කරුණු මෙම නව වැඩසටහනට ඇතුළත් කර ඇත.














