තායිලන්තයේ ප්‍රථම වරට පැවැත්වෙන “Miss Grand All Stars” ජාත්‍යන්තර රූ රැජින තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තිෂානි පෙරේරා මෙනෙවිය අද (14) අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් තායිලන්තය බලා පිටත්ව ගියාය.
Miss Grand, Miss Universe සහ Miss World වැනි ලොව ප්‍රමුඛතම රූ රැජින තරගාවලි ජයග්‍රහණය කළ රූමතියන් පමණක් මෙම තරගාවලිය සඳහා සහභාගී වීම විශේෂත්වයකි. ඒ අනුව ලොව රටවල් 80කට ආසන්න සංඛ්‍යාවක ජයග්‍රාහිකාවන් මේ සඳහා එක්වන අතර මෙවර තරගාවලිය මැයි මස 16 වැනිදා සිට 30 වැනිදා දක්වා බැංකොක් නුවරදී පැවැත්වීමට නියමිතව තිබේ.
2025 වසරේ ‘Miss Grand Sri Lanka’ කිරුළ දිනාගත් තිෂානි පෙරේරා මෙනෙවිය ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිධාරිනියක වන අතර ඇය මේ වන විට සිය පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතුවල නිරතව සිටින්නීය.
ඇය අද උදෑසන 7:25ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL-404 දරන ගුවන් යානයෙන් තායිලන්තය බලා පිටත්ව ගිය අතර ඇයව ඇරලවීමට තරගාවලියේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ සහ පුහුණුකරු රුක්මාල් සේනානායක මහතා ඇතුළු ඇයගේ දෙමාපියන් ගුවන් තොටුපළට පැමිණ සිටියහ. ජාත්‍යන්තර වේදිකාවක ශ්‍රී ලංකාවේ නාමය බැබළවීමට ඇයට ශක්තිය හා වාසනාව ප්‍රාර්ථනා කරමු.














