සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් (Samsung Electronics) සමාගමේ සේවක සංගමය ප්‍රකාශයට පත් කර ඇති වැඩවර්ජන තර්ජනය දකුණු කොරියාවේ ආර්ථික වර්ධනයට, අපනයනවලට සහ වෙළඳපොළට සැලකිය යුතු අවදානමක් වනු ඇති බව එරට මුදල් අමාත්‍ය කූ යුන්-චෝල් මහතා ප්‍රකාශ කර තිබේ. චිප් නිෂ්පාදන ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන සැම්සුන් සමාගම සහ එහි සේවක සංගමය අතර වැටුප් සම්බන්ධයෙන් පැවැති සාකච්ඡා පසුගිය බදාදා එකඟතාවයකින් තොරව අවසන් වීම මෙම තත්ත්වයට මූලික හේතුව වී ඇත. ඒ අනුව වෘත්තීය සමිති සාමාජිකයන් මැයි 21 වැනිදා සිට දින 18ක කාලයක් දැවැන්ත වැඩවර්ජනයක නිරත වීමට මේ වන විට සැලසුම් කර තිබේ.
දකුණු කොරියාවේ සමස්ත අපනයන ක්ෂේත්‍රය තුළ සැම්සුන් සමාගම සතු විශාල දායකත්වය හේතුවෙන් මෙම වැඩවර්ජනය එරට ආර්ථික වර්ධන වේගය අඩාල කිරීමටත් කොටස් වෙළඳපොළ අස්ථාවර කිරීමටත් ප්‍රබල ලෙස බලපානු ඇතැයි මුදල් අමාත්‍යවරයා පෙන්වා දෙයි. විශේෂයෙන්ම ගෝලීය අර්ධ සන්නායක (Semiconductor) සැපයුම් දාමයට මින් දැඩි බලපෑමක් එල්ල වීමේ අවදානමක් පවතින අතර එය ජාත්‍යන්තර තාක්ෂණික නිෂ්පාදන ක්ෂේත්‍රයට ද ගැටලුවක් වනු ඇත.
සැම්සුන් සමාගම දකුණු කොරියානු ආර්ථිකයේ ප්‍රධානතම කුළුණක් බඳු වන බැවින් මෙම අර්බුදය සමනය කර ගැනීමට රජයේ සෘජු අවධානය යොමු වී ඇත. එරට ආර්ථික ස්ථාවරත්වය සහ ජාත්‍යන්තර වෙළඳ විශ්වාසය ආරක්ෂා කර ගැනීම සඳහා මෙම සේවක ගැටලුව කඩිනමින් විසඳා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බව දේශපාලන සහ ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














