රුසියාව විසින් එල්ල කරන ලද දරුණු ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවකින් යුක්‍රේනයේ කිවි (Kyiv) අගනුවරට දැඩි හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අද (14) අලුයම එල්ල වූ මෙම ප්‍රහාරය හේතුවෙන් නේවාසික ගොඩනැගිලි කිහිපයකට හානි සිදුව ඇති අතර ඉන් එක් ගොඩනැගිල්ලක් අර්ධ වශයෙන් කඩා වැටී ඇති බව වාර්තා වේ.
අගනුවර යුද පරිපාලන ප්‍රධානී ටිමූර් ටකචෙන්කෝ පවසන පරිදි කිවි නුවර නැගෙනහිර ඩානිට්ස්කි දිස්ත්‍රික්කයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක කොටසක් ප්‍රහාරය හමුවේ කඩා වැටී තිබේ. එහි සුන්බුන් අතර ප්‍රදේශවාසීන් පිරිසක් සිරවී සිටින බවට සැක කෙරෙන අතර සහන සේවා කණ්ඩායම් මේ වන විටත් විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇත.
නගරාධිපති විටාලි ක්ලිට්ස්කෝ වාර්තා කරන්නේ නගරයේ උතුරු දිග තදාසන්න ප්‍රදේශයක පිහිටි මහල් 12ක ගොඩනැගිල්ලකට ප්‍රහාරක කොටස් පතිත වීමෙන් ගින්නක් හටගෙන ඇති බවයි. නගරයේ විවිධ ස්ථානවලින් ගොඩනැගිලි ගිනි ගන්නා අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ වෙමින් පවතින අතර හානියට පත් ගොඩනැගිලි රැසක් පිළිබඳ තොරතුරු වාර්තා වෙමින් පවතී.
රුසියානු මිසයිල ප්‍රහාර යුක්‍රේනයේ කිවි නුවරට පමණක් නොව කාර්කිව්, සුමි, චර්නිහිව් සහ පොල්ටාවා යන ප්‍රදේශ වෙතද එල්ල වී ඇත. මීට පෙර එනම් ඊයේ (බදාදා) රුසියාව විසින් එල්ල කරන ලද ප්‍රහාරවලින් පුද්ගලයන් හය දෙනෙකු මියගිය බව ද බලධාරීන් තහවුරු කළේය. මෙම අලුයම ප්‍රහාරයෙන් සිදුවූ ජීවිත හානි පිළිබඳව මෙතෙක් නිල තොරතුරු වාර්තා වී නොමැති වුවද සුන්බුන් අතර සිටින පිරිස් බේරාගැනීම සඳහා විශේෂ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.














