විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා බෙලරුස් රාජ්‍යයේ සිදු කරන නිල සංචාරය ආරම්භ කරමින් එරට අගනුවර පිහිටි විජයග්‍රාහී චතුරස්‍රයේදී (Victory Square) මියගිය විරුවන් අනුස්මරණය කරමින් පුෂ්පෝපහාර දැක්වීය. සාමය, ස්වෛරීභාවය සහ දෙරට අතර පවතින මිත්‍රත්වය සංකේතවත් කරමින් සිදු කළ මෙම උපහාරය බෙලරුස් ජනතාවගේ කැපකිරීම් ඇගයීමට ලක් කළ අවස්ථාවක් ලෙස සැලකේ.
1954 වසරේදී ඉදිකරන ලද මෙම විජයග්‍රාහී ස්මාරකය බෙලරුස් රාජ්‍යයේ වැදගත්ම ජාතික සංකේතයක් ලෙස පිළිගැනේ. අමාත්‍යවරයාගේ මෙම සංචාරය බෙලරුස් විදේශ අමාත්‍ය මැක්සිම් රයිබෙන්කොව් මහතාගේ විශේෂ ආරාධනයකට අනුව මැයි 12 වැනි දින සිට 15 වැනි දින දක්වා ක්‍රියාත්මක වන අතර, එය දෙරට අතර 25 වසරක රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල තීරණාත්මක සන්ධිස්ථානයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සංචාරය අතරතුර අමාත්‍ය විජිත හේරත් මහතා බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ මහතා හමුවීමට නියමිත අතර විදේශ, අධ්‍යාපන සහ සෞඛ්‍ය අමාත්‍යවරුන් සමඟද ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත. මෙහිදී දෙරට අතර විවිධ ක්ෂේත්‍රයන්ට අදාළ අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමටද නියමිතව තිබේ.
මීට අමතරව, බෙලරුස් ජාතික අපනයන මධ්‍යස්ථානය මඟින් සංවිධානය කරන ව්‍යාපාරික සහ සංචාරක වටමේස රැස්වීමක් ඇමතීමට නියමිත අමාත්‍යවරයා, එරට අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන් හමුවී ඔවුන්ගේ සුවදුක් විමසීමටද සැලසුම් කර ඇත.














