ජාතික ජන බලවේගයේ සාමාජිකයන් “හිඟන්නන්” නොවන බවත් ඔවුන්ගේ වත්කම් සම්බන්ධයෙන් පවතින විවේචන ජනතාවගෙන් පැනනැගුණු ඒවා නොව විපක්ෂය සහ ඇතැම් කල්ලි විසින් පතුරුවා හරින ලද මතවාදයන් බවත් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි. ජාතික රූපවාහිනියේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.
රජයේ පාර්ශවකරුවන්ගේ වත්කම්, නිවාස සහ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව සාමාන්‍ය ජනතාව ප්‍රශ්න නොකරන බවත් විපක්ෂය සහ යම් යම් කල්ලි විසින් මේවා පිළිබඳව වැරදි මතවාද ස්ථානගත කිරීමට උත්සාහ කරන බවත් ඔහු ප්‍රකාශ කළේය. ජාතික ජන බලවේගය නියෝජනය කරන පිරිස් “හිඟන්නන්” විය යුතු බවට විපක්ෂය ගොඩනගා ඇති මතය ඔහු ප්‍රතික්ෂේප කළ අතර තමන් ඇතුළු කණ්ඩායමේ කිසිදු දූෂිතයෙකු නොමැති බව තමන් විශ්වාස කරන බව ද පැවසීය.
කණ්ඩායමේ සියලු දෙනාගේ වත්කම් බැරකම් ප්‍රකාශ කර ඇති බැවින් ඕනෑම අයෙකුට ඒ පිළිබඳව කතා කිරීමට අවස්ථාව ලැබී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා පක්ෂයේ සාමාජිකයන්ගේ මුවින් පිටවූ සමහර වචන අල්ලාගෙන විපක්ෂය විවිධ කතා ගොඩනැගුව ද එය ප්‍රතිපත්තිමය වරදක් නොවන බව පැහැදිලි කළේය. වත්කම් සම්බන්ධයෙන් එල්ල වන විවේචන කුමන මට්ටමක පැවතිය ද ජනාධිපතිවරයා මෙන්ම තමන් ද මෙම කණ්ඩායම පිළිබඳව පූර්ණ තෘප්තියට පත්ව සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














