පිටිගල – පැලවත්ත මාර්ගයේ කරව්ව 15 කණුව ප්‍රදේශයේදී සිදු වූ යතුරුපැදි අනතුරකින් 21 හැවිරිදි තරුණයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (13) දින පැවති තද වැසි මධ්‍යයේ සිය රැකියාව සඳහා යතුරුපැදියෙන් යමින් සිටියදී, එය මාර්ගයෙන් ඉවතට පැන ආරක්ෂිත වැටක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ තරුණයා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පිටිගල පොලීසිය සඳහන් කරයි. ඉහළ හේවැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු මෙවර උසස් පෙළ විභාගයෙන් ඉහළින් සමත්ව විශ්වවිද්‍යාල වරම් ලැබූ සිසුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් පිටිගල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.














