සිරමැදිරි තුළ සිටි සැකකරුවන්ට හෙරොයින් ඇතුළු තහනම් ද්‍රව්‍ය ළඟ තබා ගැනීමට ඉඩ ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ. පොලීසියට අනුව, මොවුන් දෙදෙනා විසින් සිරමැදිරි දෙකක සිටි සැකකරුවන්ට හෙරොයින් මත්ද්‍රව්‍ය, දුම්වැටි, ලයිටර් සහ දුම්කොළ කැබලි ළඟ තබා ගැනීමට ඉඩ ප්‍රස්ථාව සලසා දී ඇත.
මීට අමතරව, මත්ද්‍රව්‍ය භාවිතය සඳහා උපයෝගී කරගන්නා ඊයම් කොළ සහ බට ආකාරයෙන් සකස් කරන ලද මුදල් නෝට්ටු ද සැකකරුවන් සන්තකයේ තබා ගැනීමට මෙම නිලධාරීන් ඉඩ දී ඇති බව වාර්තා වේ. පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද හදිසි සිරමැදිරි පරීක්ෂාවකදී මෙම තහනම් ද්‍රව්‍ය සොයාගෙන ඇති අතර, ඒ අනුව අදාළ කොස්තාපල්වරුන්ට එරෙහිව මෙම විනය ක්‍රියාමාර්ගය ගෙන ඇත.















