ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මෘදුකාංගයක් ස්ථාපනය කිරීමේදී සිදුවූ බව කියන රුපියල් මිලියන 9.8කට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ පාලක (තොරතුරු තාක්ෂණ හා ප්‍රත්‍යන්ත පාලන) කේ. හේරත් නැමැති නිලධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය විසින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර සැකකරුට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ද චෝදනා එල්ල වී ඇත. දෙපාර්තමේන්තුව සඳහා ‘User Management Module’ නැමැති මෘදුකාංගය ස්ථාපනය කිරීමට රුපියල් 9,831,250 ක මුදලක් ගෙවා තිබුණද, එම මෘදුකාංගය ස්ථාපනය නොකර රජයේ මුදල් වංචාකාරී ලෙස ලබාගැනීම මොහුට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාවයි. රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සහ වංචා කිරීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන අතර අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.













