නවගමුව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියෙකු, අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදුවූ පිහි ඇනුමකින් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ. අද (14) අලුයම 2.40 ට පමණ මෙම වැටලීම සිදුකර ඇති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී එක් සැකකරුවෙකු විසින් එල්ල කරන ලද පිහි ප්‍රහාරයකින් නිලධාරියාගේ අතකට සහ බඩට බරපතළ තුවාල සිදුව ඇත. මුලින්ම නවගමුව රෝහලට ඇතුළත් කළ නිලධාරියා, වැඩිදුර ප්‍රතිකාර සඳහා මුල්ලේරියාව රෝහලට මාරු කර යවා ඇති අතර අද දිනයේදී ඔහු ශල්‍යකර්මයකට භාජනය කිරීමට නියමිත බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩුවෙල පදිංචි හෙට්ටිආරච්චිගේ සුධීර රුක්ෂාන් සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් ත්‍රීරෝද රථ සොරකම් ඇතුළු අපරාධ රැසකට අවශ්‍යව සිටි, පාරම්පරික සොරකමේ නිරත වන්නන් බව පොලිසිය පවසයි. අත්අඩංගුවට පත්වීමෙන් පසු තවත් අපරාධ රැසක් අනාවරණය විය හැකි බැවින්, පොලිසියෙන් බේරී පළායාමේ අරමුණින් සැකකරු මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














