ජාතික සංවර්ධන බැංකුවේ (NDB) පොදු ලෙජර් ගිණුමෙන් රුපියල් බිලියන 13ක් (කෝටි 1300ක්) වංචනිකව සොරා ගැනීමට ආධාර අනුබල දුන් ඉහළ නිලධාරීන් සිටී නම් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (14) රහස් පොලිසියට නියෝග කළේය. මෙම වංචාව සම්බන්ධයෙන් පැමිණිලි කිරීමෙන් පසු ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිර්දේශ මොනවාද සහ එම නිර්දේශ යටපත් කළ ඉහළ නිලධාරීන් කවුරුන්ද යන්න පිළිබඳ සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කළේ 2024 වසරේ සිට 2026 මාර්තු දක්වා කාලය තුළ බැංකුවේ පොදු ලෙජර් ගිණුමට රහසිගතව රිංගා මෙම මහා පරිමාණ වංචාව සිදුකර ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බැංකුවේ මූල්‍ය අංශයේ සහකාර කළමනාකාර ලහිරු කොඩිකාර, ඔහුගේ සහෝදරයකු වන පැතුම් කොඩිකාර, බැංකුවේ පරිගණක දත්ත ක්‍රියාකරු සාරංග කෝසල සහ ව්‍යාපාරිකයෙකු වන මොහොමඩ් ඉන්හමුල් හෂාන් යන සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කරන ලදී.














