ශ්‍රී ලංකා රුපියල මත පවතින පීඩනය තීව්‍ර කරමින් අද (14) දිනයේදී අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 329.92ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය 2023 දෙසැම්බර් 27 වැනිදායින් පසු වාර්තා වූ ඉහළම අගයයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව, 2026 වසරේ ජනවාරි 01 සිට මැයි 08 දක්වා කාලය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 3.6කින් අවප්‍රමාණය වී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පෙන්වා දෙන්නේ ගෝලීය අවිනිශ්චිතභාවය හේතුවෙන් අමෙරිකානු ඩොලරය ශක්තිමත් වීම සහ බාහිර කම්පන මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව බවයි. ඉන්දීය රුපියල පවා ඉතිහාසයේ දුර්වලම මට්ටමට පත්ව ඇති බවත්, මෙය කලාපීය වශයෙන් අනෙක් රටවලට ද බලපා ඇති සාමාන්‍ය තත්ත්වයක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ඇඩ්වොකාටා ආර්ථික පර්යේෂණ ආයතනය පෙන්වා දෙන පරිදි මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ඩොලර් ඉල්ලුම ඉහළ යාම, ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලෙහි පවතින අස්ථාවරත්වය සහ නැව් ගාස්තු ඉහළ යෑම ද මෙම තත්ත්වයට බලපා තිබේ.
මෙම තත්ත්වය හේතුවෙන් ආනයන මිල ක්‍රමයෙන් ඉහළ යන අතරම අපනයන ආදායම වැඩිවීමට ද අවස්ථාව සැලසේ. කෙසේ වෙතත්, විදේශ ණය ගෙවීමේදී රුපියල අවප්‍රමාණය වීම ශ්‍රී ලංකාවට අවාසිසහගත ලෙස බලපාන බව ඇඩ්වොකාටා ආයතනය පෙන්වා දෙයි.














