ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කරගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ලබාදෙන සහාය අඛණ්ඩව සපයන බව එම සංවිධානය යළිත් තහවුරු කර තිබේ. අද (14) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ IMF සන්නිවේදන අධ්‍යක්ෂ ජූලි කොසැක් මහත්මිය සඳහන් කළේ, “දිට්වා” සුළි කුණාටුව සහ මැද පෙරදිග යුද්ධය වැනි ප්‍රබල කම්පනයන් හමුවේ වුවද ශ්‍රී ලංකාව සුවිශේෂී ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කර ඇති බවයි.
IMF සහාය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ වැඩසටහන මේ වන විට සාර්ථක ප්‍රතිඵල අත්කර දෙමින් පවතින බව පෙන්වා දුන් ඇය, ශ්‍රී ලංකා බලධාරීන්ගේ කැපවීම මත ආර්ථික කාර්යසාධනය වර්ධනය වෙමින් පවතින බව ද පැවසුවාය. ශ්‍රී ලංකාවට ලබාදිය හැකි ඉදිරි සහාය සම්බන්ධයෙන් බලධාරීන් සමඟ සමීපව සාකච්ඡා කරමින් පවතින බවත්, මෙරට ආර්ථික ප්‍රකෘතිමත් වීම වෙනුවෙන් IMF තවදුරටත් දැඩි කැපවීමකින් පසුවන බවත් ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.
















