අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා අද (14) බීජිං නුවරදී පැවැත්විණි. 2017 වසරින් පසු අමෙරිකානු ජනාධිපතිවරයෙකු චීනයේ සංචාරය කළ පළමු අවස්ථාව මෙය වන අතර, ට්‍රම්ප් ජනාධිපතිවරයා වෙනුවෙන් හමුදා ආචාර වෙඩිමුර 21ක් පිරිනමමින් උණුසුම් පිළිගැනීමක් පිරිනමන ලදී. මෙහිදී ලෝක බලවතුන් අතර ඇතිවිය හැකි ගැටුම්කාරී තත්ත්වයන් පැහැදිලි කරන ‘තුසෙයිඩිඩීස් උගුල’ පිළිබඳව විශේෂ අවධානයක් යොමුවූ අතර, නව බලවත් රාජ්‍යයක් වේගයෙන් නැගී එන විට පවතින බලවතුන් තුළ ඇති වන බිය සහ අවිශ්වාසය නිසා යුද්ධයක් නිර්මාණය වීමේ අවදානම මෙයින් අදහස් කෙරේ. චීන ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ දෙරට අතර පවතින වෙනස්කම්වලට වඩා පොදු අභිලාෂයන් වැදගත් වන බවත්, චීනය සහ අමෙරිකාව අතර ස්ථාවර සබඳතාවක් පැවතීම ලෝකයටම යහපතක් බවත්ය.
හෝමුස් සමුද්‍ර සන්ධිය නිදහස් ගමනාගමනය සඳහා විවෘතව තැබීමට සහ ඉරානයට කිසි දිනෙක න්‍යෂ්ටික අවියක් තැනීමට ඉඩ නොදීමට දෙරටේ නායකයෝ මෙහිදී එකඟතාවන්ට පැමිණියහ. ඉරාන යුද්ධය, තායිවාන අර්බුදය, වෙළෙඳ සහ කෘෂිකාර්මික ක්ෂේත්‍ර මෙන්ම දෙරටේ හමුදා අතර සන්නිවේදනය තරකර ගැනීම පිළිබඳව ද මෙහිදී වැඩි අවධානයක් යොමු විය. මෙම සංචාරය සඳහා අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ, ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් මෙන්ම ඊලෝන් මස්ක් සහ ජෙන්සන් හුවාන්ග් ඇතුළු ප්‍රමුඛ තාක්ෂණික සමාගම් ප්‍රධානීහු පිරිසක් ද එක්ව සිටිති.
සාකච්ඡාවලින් අනතුරුව නායකයින් දෙපළ බීජිං හි පිහිටි වසර 600ක් පැරැණි ‘දෙව්ලොව පන්සල’ වෙත ද සංචාරය කළහ. රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර ජනාධිපති ට්‍රම්ප් විසින් ලබන සැප්තැම්බර් 24 වැනිදා ධවල මන්දිරයේ සංචාරයකට එක්වන ලෙස චීන ජනාධිපති ෂී ජින්පින් යුවළට ආරාධනා කරන ලදී.














