ගල්අඟුරු විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවට සහ එහි විනිසුරුවරුන්ට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා ඉල්ලා සිටියි. මේ සම්බන්ධයෙන් ඔහු ඇතුළු පිරිසක් අද දින අදාළ කොමිෂන් සභාවේ ලේකම්වරයා වෙත සන්දේශයක් ද භාර දී තිබේ.
පසුගිය මැයි 01 වන දින තංගල්ලේ පැවැති මැයි දින රැළියේදී ටිල්වින් සිල්වා මහතා විසින් කොමිසමේ තීන්දුව කලින්ම ප්‍රකාශ කිරීම හරහා එහි ස්වාධීනත්වයට සහ විනිසුරුවරුන්ගේ ආත්ම ගරුත්වයට බරපතල අපහාසයක් සිදුව ඇති බව සුගීෂ්වර බණ්ඩාර මහතා පෙන්වා දෙයි. කොමිසමේ වාර්තාව මාස තුනකින් පැමිණෙන බවත්, වත්මන් රජයේ වංචාවක් නැති බව ඔප්පු වන බවත් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කිරීම මගින් අධිකරණ විනිසුරුවරුන්ගේ නිදහස් බලය ප්‍රශ්න සහගත තත්ත්වයට පත් කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. මීට අමතරව මෝසම් වැසි ආරම්භ වීමත් සමඟ ගල්අඟුරු නැව් දෙකක් ගොඩබෑමට නොහැකිව රඳවාගෙන ඇති බවත්, ඒ සම්බන්ධයෙන් රජයට නිසි වැඩපිළිවෙලක් නොමැති වීම නිසා ඉදිරියේදී දැඩි බලශක්ති අර්බුදයක් ඇතිවිය හැකි බවත් ඔහු මෙහිදී අනතුරු ඇඟවීය.














