විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් වත්මන් ජාතික පොලිස් කොමිෂන් සභාවේ වසරක නිල කාලය අදට (මැයි 15) අවසන් වේ. මෙම නිල කාලය නිමවීම සනිටුහන් කරමින් නිල වශයෙන් සමුගැනීමේ උත්සවය ඊයේ (14) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.
2023 වසරේ මැයි 15 වැනි දින පත් කරන ලද මෙම කොමිෂන් සභාව, සිය රාජකාරි කටයුතු ආරම්භ කරනු ලැබුවේ 2023 මැයි මස 16 වැනි දිනයි. 2002 වර්ෂයේදී 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ප්‍රථම වරට ස්ථාපිත කරන ලද ජාතික පොලිස් කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පොලීසිය සහ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් පුළුල් බලතල සහිත ස්වාධීන අධීක්ෂණ ආයතනයක් ලෙස ක්‍රියා කරයි.
වත්මන් නිලධාරීන්ගේ නිල කාලය අදින් අවසන් වුවද, නව සාමාජිකයන් පත් කරන තෙක් කොමිෂන් සභාවේ අධීක්ෂණ සහ පරිපාලන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වත්මන් නිලධාරීන් එම ධුරවල තවදුරටත් කටයුතු කරනු ඇත.














