මෙරට සමස්ත ජනගහනයෙන් සියයට 20කට ආසන්න සංඛ්‍යාවක් කවර හෝ බෝ නොවන රෝගයකින් පෙළෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2024 වසරේදී එළිදැක්වූ වාර්තාවක් මගින් මෙම තොරතුරු තහවුරු වී ඇති අතර, එය කුඩා දරුවාගේ සිට වැඩිහිටියන් දක්වා විහිදී ඇති බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය. කළුතර ආයුර්වේද මූලික රෝහල් පරිශ්‍රයේ අලුතින් ඉදිකළ සිව් මහල් වාට්ටු සංකීර්ණය ප්‍රතිකාර සේවා සඳහා විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (14) එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
වර්තමානයේ සෞඛ්‍ය අමාත්‍යාංශය මුහුණ දෙන ප්‍රධාන අභියෝගය බෝ නොවන රෝග බවත්, මෙරට සිදුවන මරණවලින් සියයට 80ක් පමණ වාර්තා වන්නේ මෙම රෝගී තත්ත්වයන් හේතුවෙන් බවත් ඇමැතිවරයා මෙහිදී අනාවරණය කළේය. මෙම රෝගී තත්ත්වයන්ගෙන් ජනතාව මුදාගැනීම සඳහා වැඩසටහන් සහ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
කළුතර වීදියගොඩ ප්‍රදේශයේ පිහිටි මෙම රෝහල් සංකීර්ණය ඉදිකිරීම සඳහා බස්නාහිර පළාත් සභාව රුපියල් මිලියන 250ක් වැය කර තිබේ. නව සිව්මහල් ගොඩනැගිල්ලට බාහිර රෝගී අංශයක්, සාමාන්‍ය සහ ගෙවීමේ වාට්ටු, පරිපාලන කාර්යාලයක් සහ වෛද්‍ය නිල නිවාසයක් ඇතුළත් වන අතර එහි ඇඳන් 50ක ධාරිතාවක් පවතී. මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූෂුෆ් මහතා ඇතුළු දේශපාලන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
1992 වසරේදී මධ්‍යම බෙහෙත් ශාලාවක් ලෙස ආරම්භ වූ මෙම රෝහල වර්තමානය වන විට සන්ධි, චර්ම, ස්නායු සහ මානසික රෝග ඇතුළු සායන රැසක් පවත්වනු ලබන පූර්ණ ආයුර්වේද රෝහලක් ලෙස සංවර්ධනය වී ඇත. කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවට පමණක් නොව ඉදිරි වසර කිහිපයේදී රට පුරා සිටින රෝගීන් සොයාගෙන එන මධ්‍යස්ථානයක් ලෙස මෙම රෝහල පත්වනු ඇතැයි ඇමැතිවරයා මෙහිදී විශ්වාසය පළ කළේය.














