එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ලබා දීමට නියමිත ඇමරිකානු ඩොලර් බිලියන 1.8 ක නව මානුෂීය ආධාර, ට්‍රම්ප් පරිපාලනයේ විදේශ ප්‍රතිපත්තිමය අවශ්‍යතා සමඟ අනුකූලව භාවිතා කරන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ ආධාර නිලධාරියෙක් ප්‍රකාශ කර තිබේ.
එක්සත් ජනපද ආධාර වැඩි වශයෙන් අවධානය යොමු කර ඇත්තේ ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තිමය අවශ්‍යතා සමඟ සමපාත වන රටවල් සඳහා බව රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරියා සඳහන් කළේය. දියුණු රටවල් ආධාර ලබා දීම කප්පාදු කර ඇති පසුබිමක, ආධාර බෙදා හැරීම වඩාත් කාර්යක්ෂම කිරීමට සහ වගවීම වැඩි කිරීමට සකස් කළ නව යාන්ත්‍රණයක් යටතේ දෙසැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කළ ඩොලර් බිලියන 2 ක ආධාරවලට අමතරව මෙම නව මුදල ලබා දේ.
රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ (DOGE) හිටපු සේවකයෙකු වන ජෙරමි ලෙවින් පැවසුවේ, මෙම යාන්ත්‍රණය හරහා ලබා දුන් ආධාරවලින් 92% ක්ම එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය (OCHA) විසින් හඳුනාගත් “ඉහළ ප්‍රමුඛතාවයක්” සහිත රටවල් වෙත ලබා දී ඇති බවයි. මෙම අරමුදල් ප්‍රතිසංස්කරණ හමුවේ වුවද, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මධ්‍යස්ථභාවය සහ අපක්ෂපාතීත්වය නොවෙනස්ව පවතින බව එම සංවිධානයේ ටොම් ෆ්ලෙචර් ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත්, සාම සාධක කටයුතු සහ සාමාන්‍ය අයවැය හිඟ මුදල් ලෙස එක්සත් ජනපදය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට තවමත් ඩොලර් බිලියන 4 කට ආසන්න මුදලක් ගෙවීමට ඇති බව වාර්තා වේ.














