ශ්‍රීලංකන් ගුවන් සේවයට සම්බන්ධ මූල්‍ය ගනුදෙනුවකදී සිදුවූ බව කියන බරපතළ දෝෂයක් පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා රජයෙන් ඉල්ලා සිටියි. ඩුබායි මෙහෙයුම් කටයුතු වෙනුවෙන් සිදුකළ යුතුව තිබූ ගෙවීමක් වැරදි බැංකු ගිණුමකට මාරු වී ඇති බවට තොරතුරු ලැබී ඇති බව මන්ත්‍රීවරයා මෙහිදී අනාවරණය කළේය.
ගුවන් සේවයේ චෙන්නායි ශාඛාව සහ ඩුබායි මෙහෙයුම්වලට අදාළව සිදුකළ යුතුව තිබූ ගෙවීමක්, දෝෂයක් හේතුවෙන් අබුඩාබි ඉස්ලාමීය බැංකුවේ (Abu Dhabi Islamic Bank) වෙනත් ගිණුමකට තැන්පත් වී ඇති බවට චෝදනා එල්ල වේ.
මෙසේ වැරදි ගිණුමට බැර වී ඇති මුදල එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඩිරාම් 97,450ක් පමණ වන අතර, එය ශ්‍රී ලංකා රුපියල් මිලියන 80කට අධික අගයකි. එම මුදල පසුව වෙනත් බැංකු ගිණුමකට මාරු කර ඇති බවත්, ඒ හේතුවෙන් එම මුදල් යළි ලබාගැනීම දුෂ්කර වී ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් වෙත තොරතුරු ලැබී ඇති බව පැවසූ දයාසිරි ජයසේකර මහතා, වගකිව යුතු පාර්ශ්වයන් මැදිහත් වී මෙහි සත්‍ය අසත්‍යතාව තහවුරු කරමින් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.














