මහ වැසි සමඟ ඇති වූ දැඩි ගංවතුර තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 7,206කට අයත් පුද්ගලයන් 27,222 දෙනකු පීඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ලේකම් වයි.එම්. ඉන්දික සිල්වා මහතා පවසයි. පුත්තලම, වනාතවිල්ලුව සහ ආණමඩුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් මෙම පීඩාවට පත් පිරිස් වාර්තා වන අතර, ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ පුත්තලම කොට්ඨාසයටයි.
පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක් තවමත් ජලයෙන් යටවී පවතී. ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ඊයේ (14) පැවැත්වීමට නියමිතව තිබූ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම පවා සුම් (Zoom) තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට දිස්ත්‍රික් ලේකම්වරයා කටයුතු කළේය. එසේම පුත්තලම දුම්රිය මාර්ගයට හානි සිදුවීම නිසා දුම්රිය ධාවනය හලාවතට පමණක් සීමා කර තිබේ.
පුත්තලම කලාපයේ බොහෝ පාසල් අඩි කිහිපයක් ජලයෙන් යටවී පැවතීම හේතුවෙන් ඊයේ (14) පාසල් වසා දැමීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පියවර ගත්තේය. පාසල් උපකරණ සහ සම්පත් රැසක් ජලයෙන් විනාශ වී ඇති බව විදුහල්පතිවරු පවසති.
පුත්තලම මූලික රෝහලේ ජලයෙන් යටවූ වාට්ටු ඒකක මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති අතර රෝගී සත්කාරක සේවා යළි ආරම්භ කර ඇත. ජල මට්ටම සුළු වශයෙන් පහත බැස තිබුණ ද, බොහෝ නිවාස තවමත් ජලයෙන් වැසී පවතින බැවින් ජනතාවට සිය නිවෙස් කරා යාමට නොහැකි වී තිබේ. ඉදිරි දිනවලදී ද වැසි තත්ත්වය පැවතියහොත් ගමනාගමනයට බාධා එල්ල විය හැකි බව පොලීසිය අවධාරණය කරයි.














