මධ්‍යම කඳුකරයට මේ දිනවල බලපා ඇති දැඩි වර්ෂාව සහ මීදුම් සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් උඩරට මාර්ග භාවිත කරන රියැදුරන් දැඩි ලෙස සැලකිලිමත්ව කටයුතු කළ යුතු බව පොලිස් රථවාහන අංශ නිලධාරීහු ඉල්ලා සිටිති. කඳුකර ප්‍රදේශවල පවතින දැඩි සුළං සහ මීදුම හේතුවෙන් රථවාහන අනතුරු සිදුවීමේ අවදානම ඉහළ ගොස් ඇති බව ඔවුහු පෙන්වා දෙති.
රියැදුරන් සඳහා පොලීසිය නිකුත් කළ විශේෂ උපදෙස් මාලාව මෙසේය:
වර්ෂාව සහ මීදුම පවතින අවස්ථාවලදී රථයේ ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වා ධාවනය කරන ලෙසත්, තමන්ට පාලනය කරගත හැකි වේගයකින් රථය ධාවනය කරන ලෙසත් උපදෙස් ලැබී ඇත. විශේෂයෙන් දැඩි බෑවුම් සහිත මාර්ගවලදී රථය නියමිත ඉහළ ගියරයක (High Gear) පවත්වා ගනිමින් ධාවනය කිරීම අත්‍යවශ්‍ය වේ.
මාර්ගවලට ගස් කඩා වැටීම්, පස් කඳු පෙරළීම් සහ ගල් පතිතවීම් සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවිය යුතුය. එසේම මාර්ග දෙපස පිහිටි විශාල ගස් යට රථවාහන නවතා තැබීමෙන් වළකින ලෙසත්, බෑවුම් සහිත ස්ථානවල සිදුවිය හැකි ගිලාබැසීම් පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් පොලීසිය දන්වා සිටියි.
නුවරඑළිය – ගම්පොළ, නුවරඑළිය – වැලිමඩ, නුවරඑළිය – හැටන්, හැටන් – අවිස්සාවේල්ල සහ තලවකැලේ – නාවලපිටිය යන ප්‍රධාන මාර්ගවල මෙන්ම ඩයගම ෆෝඩයිස් හැටන් මාර්ගය සහ නානුඔය රදැල්ල කෙටි මාර්ගය භාවිත කිරීමේදී රියැදුරන් වැඩි අවධානයක් යොමු කළ යුතුය. විශේෂයෙන්ම කඳුකර මාර්ග පිළිබඳ හුරුපුරුදු නොමැති පිට පළාත්වල සිට පැමිණෙන රියැදුරන් මේ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතු බව පොලිස් රථවාහන අංශය වැඩිදුරටත් අවධාරණය කරයි.














