දශක කිහිපයකින් පසු බොලිවියාව මුහුණ දෙන දරුණුතම ආර්ථික අර්බුදය හමුවේ එරට දේශපාලන සහ සමාජයීය තත්ත්වය දැඩි ලෙස උණුසුම් වී තිබේ. පවතින උද්ධමනය සහ ජීවන වියදම ඉහළ යාමට එරෙහිව රජයට බල කරමින් පතල් කම්කරුවන් ඇතුළු විවිධ වෘත්තීය සමිති ආරම්භ කළ විරෝධතා මේ වන විට ප්‍රචණ්ඩකාරී මුහුණුවරක් ගෙන ඇති අතර වත්මන් ජනාධිපති රොද්‍රිගෝ පාස් වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව පවසමින් විරෝධතාකරුවන් අගනුවර කරා ගමන් කරමින් සිටියි.
විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන අතරතුර පතල් කම්කරුවන් සිය විරෝධය පළ කිරීම සඳහා කුඩා ඩයිනමයිට් කූරු පුපුරුවා හැරීමට කටයුතු කිරීම නිසා නගරය පුරා දැඩි පිපිරීම් හඬවල් ශ්‍රවණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පතල් කම්කරුවන්ට අමතරව ගොවීන්, ගුරුවරුන් සහ ග්‍රාමීය කම්කරුවන් ද මෙම විරෝධතාවලට ඒකාබද්ධ වී ඇත්තේ රජයේ අසාර්ථක ආර්ථික කළමනාකරණයට එරෙහිව වන අතර පවතින විදේශ විනිමය හිඟය සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම හේතුවෙන් බොලිවියාවේ සාමාන්‍ය ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල වී තිබේ.














