ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන මූල්‍ය සේවා සපයන්නන් සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට ඇති පැමිණිලි හා දුක්ගැනවිලි ඉදිරිපත් කිරීම පහසු කිරීම සඳහා නව මාර්ගගත (Online) පැමිණිලි කළමනාකරණ පද්ධතියක් හඳුන්වා දී තිබේ. මහ බැංකුවේ නියාමන රාමුව තුළ පැමිණිලි හැසිරවීමේ ක්‍රියාවලියේ වගවීම, කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය ඉහළ නැංවීම මෙහි ප්‍රධාන අරමුණයි.
මෙම පද්ධතිය පැය 24 පුරා ක්‍රියාත්මක වන බැවින් පාරිභෝගිකයින්ට තමන්ට පහසු ඕනෑම වේලාවක පැමිණිලි ඉදිරිපත් කළ හැකිය. තමන් ඉදිරිපත් කළ පැමිණිලිවල වත්මන් තත්ත්වය සහ ප්‍රගතිය පිළිබඳව දැනගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව සැලසේ. මුද්‍රිත ලියවිලි භාවිතය අවම කරමින් ප්‍රමාදයන් මඟහරවා ගනිමින් පැමිණිලි වඩාත් ඵලදායී ලෙස නිරාකරණය කිරීමට මෙමඟින් සහාය වනු ඇත.
පාරිභෝගිකයින් ප්‍රථමයෙන් සිය පැමිණිලි අදාළ මූල්‍ය සේවා සපයන්නා වෙත සෘජුවම යොමු කළ යුතුය. ඔවුන් එම පැමිණිලි විසඳීමට අපොහොසත් වුවහොත් හෝ ලබා දෙන ප්‍රතිචාර පිළිබඳ පාරිභෝගිකයා සෑහීමකට පත් නොවන්නේ නම් පමණක් මෙම පද්ධතිය හරහා මහ බැංකුව වෙත පැමිණිල්ල යොමු කළ හැකිය. මෙම පැමිණිලි කළමනාකරණ පද්ධතියට https://reachus.cbsl.lk/ යන සබැඳිය ඔස්සේ පිවිසිය හැකි බව මහ බැංකුව දන්වා සිටී. ඉදිරිපත් කරනු ලබන සියලු තොරතුරුවල නිවැරදිභාවය සහ සම්පූර්ණ බව සහතික කරන ලෙසත්, ඊට අදාළ සියලුම ලියකියවිලි ඉදිරිපත් කරන ලෙසත් මහ බැංකුව පාරිභෝගිකයන්ට උපදෙස් ලබා දී ඇත.














