සුපිරි වෙළඳසැල් ඇතුළු වෙළඳ ආයතන මගින් පාරිභෝගිකයන්ට අලෙවි කරනු ලබන පොලිතින් මලු (ෂොපින් මලු) සඳහා අය කෙරෙන බදු මුදල්, රජයේ නිශ්චිත පාරිසරික සංරක්ෂණ අරමුදලකට බැර කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ. පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කරන ලද මෙම පෙත්සම ලබන නොවැම්බර් මස 03 වනදා කැඳවීමට අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද (15) නියෝග කළේය.
පාරිසරික සංරක්ෂණ බදු පනතට අනුව පාරිභෝගිකයන්ගෙන් අය කරනු ලබන මෙම බදු මුදල් පරිසරය සුරැකීමේ අරමුදලකට බැර විය යුතු වුවත්, වර්තමානයේ එම මුදල්වලට සිදුවන දේ පිළිබඳව නිශ්චිත විනිවිදභාවයක් නොමැති බව පෙත්සම්කරුවෝ පෙන්වා දෙති. මෙම ක්‍රියාවලිය නීතියට පටහැනි බව පවසන පරිසර යුක්ති කේන්ද්‍රය, අදාළ බදු මුදල් නිසි පරිදි පාරිසරික සංරක්ෂණ අරමුදලකට බැර කිරීමට අවශ්‍ය නීතිමය නියෝග නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.














