දරුවන් එළවළු ආහාරයට ගැනීමට හුරු කිරීම මවගේ ගර්භාෂය තුළ සිටින අවධියේදීම ආරම්භ කළ හැකි බව බ්‍රිතාන්‍යයේ ඩර්හැම් විශ්වවිද්‍යාලය ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදු කරන ලද නවතම පර්යේෂණයකින් හෙළි වී තිබේ.
ගර්භණී මව්වරුන්ට කැරට් සහ කේල් (kale) එළවළු රස අඩංගු කරල් ලබා දී සිදු කළ අතිධ්වනි (ultrasound) ස්කෑන් පරීක්ෂණවලදී, කලලයන් එම රසයන්ට වෙනස් ප්‍රතිචාර දක්වන බව නිරීක්ෂණය විය. එහිදී කැරට් රසයට කලලයන් සිනහව වැනි ධනාත්මක ඉරියව් පෙන්වූ අතර, කේල් රසයට මුහුණ ඇඹුල් කිරීම වැනි ප්‍රතිචාර දැක්වූ බව පර්යේෂණ පත්‍රිකාවේ සඳහන් වේ. මෙම පර්යේෂණයට අනුව ගර්භාෂය තුළදී යම් ආහාරයක රසයට නැවත නැවතත් නිරාවරණය වූ දරුවන්, උපතින් පසු එම ආහාරවල සුවඳට අහිතකර ලෙස ප්‍රතිචාර දැක්වීමේ ප්‍රවණතාව අඩු බව තහවුරු වී ඇත.
මවගේ ආහාර රටාව දරුවාගේ අනාගත ආහාර රුචිකත්වය හැඩගැස්වීමට නිහඬවම බලපාන බවත්, එමඟින් අනාගතයේදී සෞඛ්‍ය සම්පන්න ජනගහනයක් බිහි කළ හැකි බවත් පර්යේෂකයෝ පෙන්වා දෙති. “Developmental Psychobiology” සඟරාවේ පළ වූ මෙම අධ්‍යයනය සඳහා ප්‍රංශයේ සහ නෙදර්ලන්තයේ විද්‍යාඥයන් ද දායක වී ඇත. කෙසේ වෙතත්, කෘතිම රසකාරක වැනි ද්‍රව්‍ය කලලයට බලපාන ආකාරය පිළිබඳව තවදුරටත් විමර්ශනය කළ යුතු බව පර්යේෂකයෝ අවධාරණය කරති.














