‘Rebuilding Sri Lanka’ වැඩසටහන යටතේ “දිට්වා” ස්වභාවික ආපදාවෙන් පීඩාවට පත් කොලොන්නාව මැතිවරණ කොට්ඨාසයේ ජනතාවට නිවාස වන්දි ප්‍රදානය කිරීමේ තවත් අදියරක් ඊයේ (14) කොලොන්නාව පුරාණ විහාරස්ථානයේදී පැවැත්වුණා. මෙම වැඩසටහන නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබුවා.
මෙම උත්සවයේදී අර්ධ හානි වූ නිවාස හිමියන් 756 දෙනෙකුට වන්දි පිරිනැමුණා. ඒ අනුව එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ පහක මුළු වන්දියක් හිමි වන අතර, එහි පළමු අදියර ලෙස රුපියල් ලක්ෂ තුන බැගින් වූ චෙක්පත් මෙහිදී පිරිනැමීමට කටයුතු කෙරුණා. ඉතිරි ලක්ෂ දෙකක මුදල දෙවන අදියර යටතේ ලබා දීමට නියමිතයි.
කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 15 ක ජනතාවට මෙම වන්දි හිමි වුණා. ඊට මුල්ලේරියාව උතුර, අඹතලේ, මල්ගම, කොටිකාවත්ත (නැගෙනහිර සහ බටහිර), මහබුත්ගමුව ඒ, කුඩාබුත්ගමුව, බටලන්දහේන, වෙන්නවත්ත, කිත්තම්පහුව, වෙලේවත්ත, කුරුණියාවත්ත, දහම්පුර, මෙගොඩ කොලොන්නාව සහ බෝපැත්ත යන වසම් ඇතුළත්.
ප්‍රාදේශීය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ග්‍රාම නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී සහ සමෘද්ධි නිලධාරීන්ගෙන් සැකසුණු ග්‍රාමීය කමිටු නිර්දේශ මත පූර්ණ විනිවිදභාවයෙන් යුතුව සුදුසුකම්ලාභීන් තෝරාගෙන තිබෙනවා. මේ වන විට පවුල් 4900 කට අධික පිරිසකට පළමු අදියරේ වන්දි ලබා දී අවසන් බව කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතා ප්‍රකාශ කළා.
ලබා දෙන වන්දි මුදල් යොදවා නිවාස අලුත්වැඩියා කිරීමේදී, ඒවා ගංවතුර ඇතුළු ආපදාවලට ඔරොත්තු දෙන (disaster resilient) අයුරින් සිදු කරන ලෙස නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.














