බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර් ප්‍රමුඛ ලේබර් පක්ෂ රජය දැඩි දේශපාලන අස්ථාවරත්වයකට ඇද දමමින්, එරට සෞඛ්‍ය ලේකම් වෙස් ස්ට්‍රීටින් (Wes Streeting) ඊයේ (15) පස්වරුවේ සිය ධුරයෙන් ඉල්ලා අස්විය. මෑතකදී පැවැති පළාත් පාලන මැතිවරණවලදී ලේබර් පක්ෂය ලැබූ පසුබෑමත් සමඟ රජය තුළ හටගත් අර්බුදය මෙම ඉල්ලා අස්වීමත් සමඟ තවදුරටත් උග්‍ර වී තිබේ.
අග්‍රාමාත්‍යවරයා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරමින් ස්ට්‍රීටින් මහතා පවසා ඇත්තේ වත්මන් රජය සතුව පැහැදිලි දර්ශනයක් නොමැති බවයි. අග්‍රාමාත්‍යවරයාගේ දුර්වල තීන්දු තීරණ හේතුවෙන් පක්ෂයේ ජනප්‍රියතාව ගිලිහී ගොස් ඇති බවට ද ඔහු සෘජුවම චෝදනා කර සිටියි.
මෙම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර් මහතා සඳහන් කළේ ස්ට්‍රීටින්ගේ ඉවත් වීම පිළිබඳව තමන් කණගාටු වන නමුත්, රජයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අඩාල කිරීමට කිසිදු පාර්ශ්වයකට ඉඩ නොදෙන බවයි. කෙසේ වෙතත්, මෙම ඉල්ලා අස්වීමත් සමඟ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගත්වයක් ප්‍රකාශ කිරීමට සූදානම් වන බවත්, මැන්චෙස්ටර් නගරාධිපති ඇන්ඩි බර්නම් ජාතික දේශපාලනයට පිවිසීමට සූදානම් වීම නිසා නායකත්ව සටන තවත් උණුසුම් වී ඇති බවත් විදෙස් වාර්තා පෙන්වා දෙයි.














