ලොව සුප්‍රකට බ්‍රිතාන්‍ය රහස් පරීක්ෂක ජේම්ස් බොන්ඩ් (007) චරිතය සඳහා නව නළුවෙකු තෝරා ගැනීමේ නිල සම්මුඛ පරීක්ෂණ (Auditions) ආරම්භ කර ඇති බව ඇමසන් MGM ස්ටූඩියෝස් (Amazon MGM Studios) නිල වශයෙන් නිවේදනය කර තිබේ. 2021 වසරේ තිරගත වූ “No Time to Die” චිත්‍රපටයෙන් පසු ඩැනියෙල් ක්‍රේග් එම චරිතයෙන් සමුගත් අතර, එතැන් පටන් බොන්ඩ් ලෝලීන් මහත් උනන්දුවෙන් බලා සිටි මෙම ප්‍රශ්නයට පිළිතුරු සෙවීමේ කටයුතු දැන් ආරම්භ වී ඇත. නව චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා ඉදිරිපත් වන නළුවන් පිළිබඳ තොරතුරු දැනට රහසිගතව තබා ගැනීමට නිෂ්පාදන ආයතනය තීරණය කර ඇති නමුත්, ඒ සඳහා සුදුසුම පුද්ගලයා තෝරාගත් වහාම රසිකයන් දැනුවත් කරන බව ඔවුන් පවසා සිටියි.
ඉදිරිස් එල්බා, හෙන්රි කැවිල් සහ කිලියන් මර්ෆි වැනි ප්‍රකට තරු මෙන්ම ආරොන් ටේලර්-ජොන්සන් සහ ජේකබ් එලෝර්ඩි වැනි තරුණ නළුවන්ගේ නම් ද මේ සඳහා යෝජනා වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම නවතම බොන්ඩ් චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමේ වගකීම “Dune” සහ “Blade Runner 2049” වැනි චිත්‍රපට හරහා අතිශය ජනප්‍රිය වූ ඔස්කාර් සම්මානලාභී අධ්‍යක්ෂ ඩෙනිස් විලෙනුව් වෙත පැවරී ඇති අතර, “Peaky Blinders” හි නිර්මාණකරු ස්ටීවන් නයිට් විසින් මෙහි තිර පිටපත රචනා කරනු ලබයි. 1962 දී ෂෝන් කොනරිගෙන් ආරම්භ වූ මෙම සිනමා වංශකථාවේ නවතම පරිච්ඡේදය වඩාත් නව්‍ය සහ උද්යෝගිමත් අත්දැකීමක් වනු ඇති බවට දැනටමත් ලොව පුරා දැඩි විශ්වාසයක් ගොඩනැගී තිබේ.














