2022 ආර්ථික අර්බුදය සමයේ ගාල්ල කොටුව අසල නීතිඥවරුන් පිරිසක් පැවැත්වූ සාමකාමී විරෝධතාවකට බාධා කරමින් විරෝධතා පුවරු ඉරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් එවක ගාල්ල භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කොන්දේසි විරහිතව සමාව අයැද තිබේ. සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට චෝදනා කරමින් නීතිඥ අජිත් කුමාර සහ අමරදිවාකර ලියනගේ යන මහත්වරුන් ගොනුකළ පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී මෙම සමාව අයැදීම සිදු විය. එවක නියෝජ්‍ය පොලිස්පති කේ.එන්.ජී. වෙදසිංහ, එවක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය කියා සිටියේ වගඋත්තරකරුවන් මේ පිළිබඳව ලිඛිතව ද සමාව අයැද සිටින බවයි.
පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා එම සමථය පිළිගැනීමට එකඟ වූ අතර, එහිදී අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රකාශ කළේ නීති විරෝධී ක්‍රියාවක් සම්බන්ධයෙන් වූ මෙම නඩුව සමථයකට පත් කිරීමට පෙත්සම්කාර නීතිඥවරුන් ඉදිරිපත් වීම අගය කළ යුතු බවයි. 2022 ජූලි 6 වනදා සාමකාමීව විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සිටි නීතිඥවරුන්ට පොලීසිය කඩා වැදී බාධා කිරීම මගින් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ගොනුකළ මෙම පෙත්සම් විභාගය, වගඋත්තරකරුවන්ගේ සමාව අයැදීමෙන් පසු අවසන් කිරීමට අධිකරණය තීන්දු කළේය.














