වාහන ආනයනය සඳහා පනවා ඇති 50%ක අතිරේක ගාස්තුව (Surcharge), ශ්‍රී ලංකාවේ විදේශ අංශය සහ විදේශ විනිමය සංචිත ආරක්ෂා කර ගැනීම සඳහා රජය ගත් කාලෝචිත සහ බුද්ධිමත් පියවරක් බව හිටපු අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. ගෝලීය වශයෙන් පවතින අස්ථාවරත්වය සහ බාහිර පීඩනය හමුවේ මෙරට ආර්ථිකය සුරක්ෂිත කිරීමට මෙවැනි දැඩි තීරණ අවශ්‍ය බව ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා ප්‍රකාශ කර තිබේ.
2026 මැයි 15 වනදාට හෝ ඊට පෙර විවෘත කරන ලද ණයවර ලිපි (LC) සඳහා මෙම අතිරේක ගාස්තුව අදාළ නොකිරීමට ගත් තීරණය ද ඔහු අගය කළේය. එමගින් ආනයනකරුවන්ට සිදුවිය හැකි අසාධාරණ අපහසුතාවන් වළක්වා ඇති බවත්, ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේදී පැහැදිලි බව සහ සාධාරණත්වය ඉතා වැදගත් බවත් ඔහු පෙන්වා දුන්නේය. ලෝකයේ පවතින යුද ගැටුම් හේතුවෙන් බලශක්ති වෙළඳපොළ සහ වෙළඳ මාර්ග අඩාල වීම ශ්‍රී ලංකාව වැනි කුඩා රටවලට දැඩි ලෙස බලපාන බැවින්, ගැටුම්කාරී පාර්ශවයන් සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් ලබාගත යුතු බව ද අලි සබ්රි මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.














