ආර්ජන්ටිනාවෙන් ගමන් ආරම්භ කළ සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාවක (Luxury Cruise Ship) ව්‍යාප්ත වූ මාරාන්තික ‘හැනා වයිරසයේ’ (Hantavirus) නව ප්‍රභේදයක් ආසාදනය වූ පළමු කැනේඩියානු ජාතිකයා බ්‍රිතාන්‍ය කොලොම්බියා (British Columbia) ප්‍රාන්තයෙන් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය බලධාරීන් තහවුරු කරයි.
‘MV Hondius’ නම් ලන්දේසි සුඛෝපභෝගී සංචාරක නෞකාවක ගමන් කර මෙලෙස මෙරටට පැමිණි කැනේඩියානු වැසියන් සිව්දෙනෙකු වෑන්කූවර් දූපතේ (Vancouver Island) දැඩි නිරෝධායනයට ලක් කර තිබූ අතර, ඉන් එක් අයෙකුට වයිරසය වැළඳී ඇති බව වික්ටෝරියා රෝහලේදී සිදුකළ වෛද්‍ය පරීක්ෂණවලදී තහවුරු වී ඇත. බ්‍රිතාන්‍ය කොලොම්බියා ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරිනී බොනී හෙන්රි (Bonnie Henry) මහත්මිය සඳහන් කළේ, වයිරසය ආසාදනය වූ පුද්ගලයා මේ වන විට ස්ථාවර සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, මොවුන් ගුවන් තොටුපොළේ සිට නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ඒමේදී මෙරට පොදු මහජනතාව සමඟ කිසිදු සබඳතාවක් පවත්වා නොමැති බැවින් වයිරසය රට තුළ පැතිරීමේ අවදානම ඉතා අවම මට්ටමක පවතින බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව, මෙම නෞකාව තුළ පැතිර ගොස් ඇත්තේ ‘ඇන්ඩීස්’ (Andes Strain) නමැති භයානක හැනා වයිරස් ප්‍රභේදය වන අතර, එමඟින් පෙනහළුවලට දැඩි ලෙස හානි සිදුවේ. මෙම වයිරසය ආසාදනය වන රෝගීන්ගෙන් 50%ක්ම මියයාමේ ඉහළ අවදානමක් පවතී. සාමාන්‍යයෙන් හැනා වයිරසය මීයන් වැනි රොඩෙන්ටියා (Rodents) සතුන්ගෙන් මිනිසුන්ට බෝ වන නමුත්, මෙම විශේෂිත ප්‍රභේදය ඉතා කලාතුරකින් මිනිසෙකුගෙන් තවත් මිනිසෙකුට සෘජුවම බෝ වීමේ හැකියාවක් ද පවතින බැවින් ජාත්‍යන්තර සෞඛ්‍ය අංශ මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවේ.














