ඇමරිකාව සහ ඉස්රායලය සමඟ ඇති වූ දැඩි යුදමය ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ ඉරාන කොටස් වෙළෙඳපොළ කටයුතු (Iran’s stock market) ලබන අඟහරුවාදා (19) දින සිට නැවත විවෘත කිරීමට තීරණය කර ඇති බව ඉරානයේ නිල ‘IRNA’ පුවත් ඒජන්සිය වාර්තා කරයි.
ඉරාන සුරැකුම්පත් සහ විනිමය සංවිධානයේ (Securities and Exchange Organization) නියෝජ්‍ය අධීක්ෂක හමීඩ් යාරි (Hamid Yari) මහතා ප්‍රකාශ කළේ, යුද්ධය ආරම්භ වූ වහාම කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවීමට පියවර ගත්තේ ආයෝජකයන්ගේ වත්කම් ආරක්ෂා කිරීමටත්, අනවශ්‍ය කලබලකාරීත්වය මත සිදුවන කොටස් අලෙවිය වැළැක්වීමටත්, වඩාත් විනිවිදභාවයෙන් යුත් මිල මට්ටම් පවත්වා ගැනීමටත් බවයි.
පවතින තත්ත්වය සමනය වීමත් සමඟ කොටස් වෙළෙඳපොළ නැවත විවෘත කිරීම හරහා එරට ප්‍රාග්ධන වෙළෙඳපොළේ (Capital Market) සියලුම අංශවල මෙහෙයුම් කටයුතු සම්පූර්ණයෙන්ම සාමාන්‍ය පරිදි යළි ආරම්භ වනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් විශ්වාසය පළ කළේය.














