ලෝක වෙළෙඳපොළේ පවතින ඉන්ධන හිඟය සහ මිල ගණන් පාලනය කිරීම වෙනුවෙන් රුසියානු මුහුදු මාර්ගික බොරතෙල් (Russian seaborne oil) මිලදී ගැනීම සඳහා ලබාදී තිබූ තාවකාලික සම්බාධක සහනය (Sanctions Waiver) තවදුරටත් දීර්ඝ නොකර කල් ඉකුත් වීමට ඉඩ හැරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය සෙනසුරාදා (16) පියවර ගෙන තිබේ.
ඉරාන යුද්ධය හේතුවෙන් හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වසා දැමීම නිසා ඇති වූ ගෝලීය බලශක්ති අර්බුදයට පිළියමක් ලෙස ඇමරිකාව විසින් ඉන්දියාව ඇතුළු රටවලට රුසියාවෙන් තෙල් මිලදී ගැනීමට මාසයක සහන කාලයක් ලබාදී තිබුණි. කෙසේ වෙතත්, ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙස්න්ට් (Scott Bessent) මීට පෙර ප්‍රකාශ කර තිබූ පරිදි, ටැංකර්වල ගබඩා කර ඇති රුසියානු තෙල් මිලදී ගැනීමට අවසර දෙන පොදු බලපත්‍රය (General License) යළි අලුත් කර නොමැති බව භාණ්ඩාගාර වෙබ් අඩවිය තහවුරු කරයි.
මෙම සහනය දීර්ඝ නොකරන ලෙස ඇමරිකානු ප්‍රමුඛ පෙළේ සෙනෙට් සභිකයන් පිරිසක් ද ට්‍රම්ප් පරිපාලනයෙන් ඉල්ලා සිටියේ, මෙමඟින් රුසියාවට යුක්‍රේන යුද්ධය වෙනුවෙන් විශාල ආදායමක් ලැබෙන නමුත් ඇමරිකානු පාරිභෝගිකයන්ගේ තෙල් මිල අඩු වීමට ඉන් සහනයක් ලැබී නොමැති බව පවසමිනි. මේ වන විට ඇමරිකාවේ ගැසොලින් ගැලුමක මිල ඩොලර් 4.50ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, පෙබරවාරි 28 වැනිදා යුද්ධය ආරම්භ වූ දා සිට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව ඉක්මවා පවතී.
මෙම තීරණය රුසියානු මුහුදු මාර්ගික බොරතෙල් වැඩිම ප්‍රමාණයක් මිලදී ගන්නා ඉන්දියාව වැනි රටවලට සෘජුවම බලපානු ඇත. මේ අතර, චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ පැවැති සාකච්ඡාවලින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ, ඉරාන තෙල් මිලදී ගන්නා චීන සමාගම්වලට පනවා ඇති සම්බාධක ඉවත් කිරීම කෙරෙහි ද තමන් ඉදිරියේදී තීරණයක් ගන්නා බවයි.















