ලොව සුප්‍රසිද්ධ ප්‍රකෝටිපති ඉලොන් මස්ක්ගේ (Elon Musk) අභ්‍යවකාශ තාක්ෂණික සමාගම වන SpaceX ලබන මාසයේදී සිදුකිරීමට නියමිත ඓතිහාසික කොටස් වෙළෙඳපොළ මංගල ප්‍රවේශය (Initial Public Offering – IPO) වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 5 සිට බිලියන 10 දක්වා වූ දැවැන්ත මුදලක් ආයෝජනය කිරීමට ලොව විශාලතම වත්කම් කළමනාකරණ ආයතනයක් වන බ්ලැක්‍රොක් (BlackRock) සමාගම සාකච්ඡා පවත්වමින් සිටින බව ‘The Information’ වෙබ් අඩවිය වාර්තා කරයි.
මෙම මූල්‍ය ප්‍රවේශයේදී SpaceX සමාගම විසින් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.75 ක (Roughly $1.75 trillion) දැවැන්ත සමාගම් අගය කිරීමක් (Valuation) යටතේ ඩොලර් බිලියන 75ක අරමුදලක් රැස් කිරීමට ඉලක්ක කර ඇත. මෙය සාර්ථක වුවහොත් එය ලෝක කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ විශාලතම සහ ඉහළම වටිනාකමකින් යුත් කොටස් නිකුතුව (Biggest-ever stock market flotation) බවට පත්වනු ඇත. බ්ලැක්‍රොක් සමාගම සතු ඩොලර් බිලියන 536ක ක්‍රියාකාරී අරමුදල් (Actively managed funds) භාවිත කරමින් මෙම ආයෝජනය කිරීමට නියමිතය.
SpaceX සමාගම සිය කොටස් ජුනි 12 වැනිදා වැනි මුල් කාලයකදීම වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇති අතර, ඔවුන්ගේ මෙම සුපිරි වෙළෙඳපොළ ප්‍රවේශය සඳහා ඇමරිකාවේ ප්‍රමුඛතම තාක්ෂණික කොටස් වෙළෙඳපොළක් වන Nasdaq තෝරාගෙන ඇති බව රොයිටර් පුවත් සේවය මීට පෙර වාර්තා කර තිබුණි. කෙසේ වෙතත්, අවසන් ආයෝජන මුදල කොටස් මිල නියම වන ආකාරය අනුව ඉදිරියේදී වෙනස් විය හැකි බවත්, මෙම වාර්තා සම්බන්ධයෙන් නිල ප්‍රකාශයන් නිකුත් කිරීම බ්ලැක්‍රොක් සහ ස්පේස්එක්ස් ආයතන දෙකම දැනට ප්‍රතික්ෂේප කර ඇති බවත් වාර්තා වේ.














